About us - අපි ගැන
පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මාවංශ හිමියෝ

බෙලිගල මීමුරේ ගම්මානයේ ජී.ආර්. පොඩිරාළහාමි හා ජී.ආර්. මැණික්හාමි යන දෙමාව්පියනට දාව පළමු දරුවා ලෙස 1954. 11. 29 වැනිදා එළිය දුටු ලයනල් විජේරත්න නමැති පින්වත් දරුවා අනාගතයේ දිනක ගෞතම සම්මා සම්බුදු සම්බුද්ධ ශාසනය බබළුවන උතුම් සඟරුවනක් වන බව කවුරුත් දැන සිටියේ නැත. ඔහුගේ පියා සමූපකාර කළමනාකරුවකු වශයෙන් අවිවේකි ජීවිතයක් ගත කර ඇත. ඔහුගේ මව සැදැහැවත් බෞද්ධ උපාසිකාවක් වූවාය. සිය සිඟිති පුතු ද රැගෙන පන්සල් යන ඇය මල්පහන් පූජා කොට හාමුදුරුවන් බැහැදැක වැඳ පුදා එන්නීය. වසර සියයකට පසුව සම්බුද්ධ ශාසනයේ උදා වන දුර්ලභ අවස්ථාවක් වූ වර්ෂ 2500 සම්බුද්ධ ජයන්තිය සැමරීම සඳහා අනුරාධපුරයේ පැවැති උත්සවයකට වයස අවුරුදු 02 ක් සම්පූර්ණ වූ සිය පුතු ද සමඟ සහභාගී වීම තුළින් තෙරුවන් කෙරෙහි ඇයගේ ඇති ගෞරවය හා ශ්‍රද්ධාව පෙන්නුම් කෙරිණි.

එවන් බෞද්ධ පසුබිමක් තුළ හැදුණු වැඩුණු ලයනල් විජේරත්න දරුවා ප්‍රාථමික අධ්‍යාපනය හදාරනුයේ කන්දේ ගෙදර මහා විද්‍යාලයේදීය. ද්විතීයික අධ්‍යාපනය සඳහා ඇතුළු වීමේ විභාගයෙන් සමත් වී නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වූ අතර උසස් අධ්‍යාපනය සඳහා විද්‍යා විෂය ධාරාව හැදෑරීම සඳහා බෝධිරාජ මහා විද්‍යාලයට ඇතුලත් විය. එහි අවසන් විභාගයෙන් පසුව අධ්‍යාපනයේ හරයක් නැති බවත් ජීවිතයේ හිස් බවත් අඩුවක් ඇති බවත් දැනුණු අතර ජීවිතයට සැනසීම ලබා ගැනීමට නම් තවත් මඟක් තිබිය යුතු බවත් සිතන්නට පෙළඹුණි. විවාහ ජීවිතයක් පිළිබඳ සිහිනය නොපෙනෙන අනාගතයකට භාර කළ මොහුට එක්තරා තරුණ හාමුදුරු නමක් විසින් දේශනා කරන ලද ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්නට ලැබීමත් සමඟම මොහුගේ ජීවිතය සුවිශේෂී සන්ධිස්ථානයක් කරා යොමු වන්නට විය.

එහි ප්‍රතිඵලයක් ලෙස පැවිදි ජීවිතයක් ඇරඹීමට තමා තුළ ඇති වූ කැමැත්ත සංසාරගත පුරුද්දක් විය හැකි මුත් පළමුවෙන්ම සිය මෑණියන්ට ප්‍රකාශ කළේය. එයට ඇය ඉතා සතුටින් එකහෙලාම කැමැත්ත හා අවසරය දෙනු ලබන්නේ සිය ජීවිත කාලයේ දී පුතකු බුද්ධ ශාසනයට පූජා කිරීමට ඇයගේ සිත තුළ බලවත් සිහිනයක් තිබූ බව පෙන්නුම් කරමණි. එහෙත් පියාගේ දැඩි සෙනෙහස නිසා වැඩිමල් පුතු ශාසනයට ඇතුළු වීමෙන් අනාරක්ෂිත බවක් නුහුරු පරිසරයක, රාත්‍රියට ආහාරපවා නොලැබීමෙන් දුකට පත්වේය යන චේතනාවෙන් ඊට අකමැත්ත ප්‍රකාශ කළත් පසුව අවසර ලබා දුන්නේය.

එතෙක් ලයනල් විජේරත්න නම් වූ පින්වත් කුමරා සියඹලාපිටියේ බුද්ධරක්ඛිත හා ගල් අතර ධම්මරක්ඛිත හාමුදුරුවන් යටතේ 1981 ඔක්තෝම්බර් 8 වැනිදා බෙලිගල මීපේ ධම්මාවංශ යන නමින් පැවිදි භූමියට ඇතුළත් කරනු ලැබීය. පසුව කෑගල්ල, පුස්සැල්ල පුණ්‍යෝද්‍යාරාමයේ ගෞරවනීය විහාරාධිපතීත්වය දැරූ සියඹලාපිටිය ධම්මානන්ද හාමුදුරුවන්ගේ ශිෂ්‍යභාවය ලබා ගත් උන්වහන්සේ 1989 වර්ෂයේදී උපසම්ප්‍රදාව ද ලැබීය. උන්වහන්සේ ළමා කාලයේ සිටම පොතපත කියවීමේ පුරුද්දට දැඩිව ඇබ්බැහි වී සිටි නිසා පැවිදි වූ පසුවත් දහම් පොත්වලට අමතරව විවිධ පොත්පත් මිලදී ගනිමින් කියවීමේ පුරුද්ද අඛණ්ඩව සිදු කර ඇත. ආචාර්ය ඊ.ඩබ්. අධිකාරම් මහතාගේ පොතක තිබූ භාවනාව යනු කුමක්ද යන ලිපියද, ක්‍රිෂ්ණ මූර්ති චින්තනයේ "දකින්නා හා දකින දෙය අතර පරතරය අතුරුදහන් වීම භාවනාවයි" යන්න හා අචන්චා හිමියන්ගේ චින්තනයේ " අනිත්‍ය හෙවත් ධර්මය" යන්නත් කෙරේ උන්වහන්සේගේ දැඩි අවධානය යොමු විය. ඒ අනුව තිලෝගුරු බුදු පියාණන්ගේ ධර්මය අඩංගු ත්‍රිපිටකය ගැඹුරින් හැදෑරීමේ ආශාව තුළින් සම්මුති සත්‍ය හා ආර්ය සත්‍ය පිළිබඳ ගවේෂණයක යෙදුණි.

එම ගවේෂණය අනුව උන්වහන්සේ සමථ භාවනාවේ යෙදී සමාධිය දක්වා සිත දියුණු කලත් භාවනාවේ සිටින තාක්කල් සමාධි සුවය ඇතත් ඉන් මිදුණු පසු සමාධිය පිරිහෙන නිසාත් එය තාවකාලික සුවයක් බව උන්වහන්සේට වැටහුණි. අනතුරුව උන්වහන්සේ විදර්ශනා භාවනාව තුළින් නොපිරිහෙන ආර්ය සමාධි සුවය ලබා ගැනීම පිණිස ත්‍රිපිටකයේ කන්දක වග්ගය හා සලායතන වග්ගය පිළිබඳ ආර්ය ගවේෂණයට උන්වහන්සේගේ සිත පෙළඹුණි. ඒ අනුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත උන්වහන්සේ, දුකෙන් ගැලවීමේ පංච උපාධානය නිරුද්‍ධ කිරීම තුළින් කෙලෙස් ක්ෂය කිරීම තුළින් නිර්වාණය කරා යන විදර්ශනාව අනුගමනය කොට තණ්හාව ක්ෂය කිරීමේ සුඛය ලබා ගැනීමෙන් ආර්ය ප්‍රතිපදාව හෙවත් පටිසෝගාමී ප්‍රතිපදාවට පිළිපන්නේය.

1996 වර්ෂයේ දී ශ්‍රී පුණ්‍යෝද්‍යාරාම විහාරස්ථානයේ විහාරාධිපතීත්වයට පත් වූ උන්වහන්සේ තම සිතැගි පරිදි යටපත්ව තිබූ ශ්‍රී ‍ සද්ධර්මය දේශනා කරන්නට පටන් ගත්තේය. අනතුරුව එළඹුණු වස් සමයේ දී තම පන්සලේ ධර්ම දේශනා 15කින් සමන්විත වූ ධර්ම දේශනා මාලාවක් පවත්වනු ලැබීය. ගමෙන් පිටතද ධර්ම දේශනා මාලාවක් පවත්වනු ලැබුවේ එක්තරා පිළිවෙළක් අනුවය. මිනිසුන්ගේ චිත්ත සන්තානය තුළ සංකල්ප වශයෙන් අල්ලා ගත් මිත්‍යා මත දුරු කරලීම තුළින් ධර්ම දේශනාවලට පිවිසෙන උන්වහන්සේ ජීවිතයට ධර්මය යන තේමාව යටතේ මිනිසුන්ගේ දුක් නිවාගැනීම පිණිස බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය දේශනා කරනු ලැබීය.

2005 වර්ෂයේ දී ජාතික රූපවාහිනියේ ධර්ම දේශනා කිරීම තුළින් සියලු ශ්‍රී ලාංකිකයන්ට උන්වහන්සේ හඳුනා ගැනීමට හැකි වූ අතර එතැන් පටන් මේ දක්වා වරින්වර ස්වාධීන රූපවාහිනිය ඔස්සේද, වී අයි පී ගුවන්විදුලිය ඔස්සේද, රන්ගිරි දඹුලු ගුවන්විදුලිය හා රූපවාහිනිය ඔස්සේද, සී. එස්. එන්. රූපවාහිනි නාළිකාව ඔස්සේද, ජාතික රූපවාහිනි නාළිකාව ඔස්සේද සෑම සෙනසුරාදාවකම විවිධ ප්‍රදේශවල ආගමික ස්ථානවල ද ධර්ම දේශනා මාලාවන් පවත්වමින් ද සිටින අතර එම දේශනා අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කිරීමට ද පහසුකම් සලසා ඇත්තේය.

උන් වහන්සේගේ හැම ධර්ම දේශනාවක්ම ලෝකෝත්තර අර්ථය එළිදක්වමින් අවසානයේ දුක නිවා ගන්නා මාර්ගය පෙන්වා දෙන බැවින්, එක් ධර්ම දේශනාවක් පමණක් නියමාකාරයෙන් අවබෝධ කරගත්තේ නම් ආර්ය මාර්ගයට පැමිණ නිවන් කරා යාමට අවස්ථාව උදාකර ගත හැකි වන්නේය. දැනටමත් සිය ගණනක් පිරිස උන්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කොට තේරුම් ගෙන ආර්ය මාර්ගය ඔස්සේ ගමන් කොට තණ්හාව ක්ෂය කිරීමේ සුවය අත්විඳ හා අත්විඳිමින් සිටිති. ඔබටත් සසරින් මිදීමේ එම දුර්ලභ අවස්ථාව උදාකර ගැනීමට කැමතිනම් උන්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කොට ආර්ය මාර්ගයට පිවිස අවේදිත සුවය විඳගන්න.

තෙරුවන් සරණයි.

කෑගල්ල පුස්සැල්ල පුණ්‍යෝද්‍යාරාම විහාරස්ථානය

ශ්‍රී පුණ්‍යෝද්‍යාරාමය ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායට අයත් විහාරාස්ථානයකි. 1922 වර්ෂයේ දී ආරම්භ වූ මෙම විහාරස්ථානයට මේ වන විට අවුරුදු 94ක් සම්පූර්ණ වී ඇත.

මෙම විහාරස්ථානය ආරම්භ වීමට පෙර පුස්සැල්ල ග්‍රාමයට පන්සලක් තිබී නැත. එහෙත් ආගමික වතාවත් කිරීම සඳහා යාබද ගමේ පන්සලට ගොස් ඇත. එසේ වුවත් පුස්සැල්ල ගම්වාසීන්ට එම විහාරස්ථානයෙන් එතරම් සැලකිල්ලක් දක්වා නැත. එසේ කලකිරීමට පත් වූ පිරිසක් එදා ගමේ තිබුණු දේවාල භූමියේ පුංචි කුටියක් ඉදි කොට ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවා ගෙන ආගමික වතාවත් කරන්නට පටන් ගෙන තිබේ. ඉන්පසුව ඒ අසල භූමියේ පන්සලක් ඉදිකිරීමට ගමේ කිහිපදෙනෙක් ඉඩම් පරිත්‍යාග කොට ගමේම වෙනත් ස්ථානවල පදිංචියට ගොස් ඇත.

එම ඉඩම තුළ දායක පිරිස් විසින් පළමුව ආවාසගෙය සාදා එහි එක් පසෙක වන්දනා මාන කරන්නට ඉඩකඩ සලසගෙන ඇත. ඉන්පසු ධර්මශාලාව සාදා නිම කොට ඇත. විහාරගෙය සාදා ඇත්තේ ඊටත් පසුවය. මුලින්ම විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කළේ මඩවල ධම්මතිලක හාමුදුරුවෝය. ඉන්පසු විහාරාධිපති ලෙස වැලිගල්ලේ ධම්මවිලාස හාමුදුරුවෝ ටික කලක් කටයුතු කොට ඇත. අනතුරුව විහාරාධිපතීත්වයට පත් වූයේ සියඹලාපිටියේ ධම්මානන්ද හාමුදුරුවෝයි .

මේ වන විට පුස්සැල්ල ග්‍රාමයේ පවුල් සංඛ්‍යාව 400කට ආසන්න වී ඇත. මෙම හාමුදුරුවන්ගේ කාලයේ බෝධිමළුව සාදා එහි බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇත. 1996 වර්ෂයේ දී බෙලිගල මීමුරේ ධම්මාවංශ හාමුදුරුවන් විහාරාධීපතීත්වයට පත් වූ අතර විහාර මන්දිරයේ සිතුවම් නිර්මාණය කිරීම, ටයිල් ඇතිරීම හා අලංකාර චෛත්‍යයක් ඉදි කිරීමත් කර ඇත. 1996 සිට මේ දක්වා ගම්වාසීන් විසින් සිය ආගමික කටයුතු හොඳින් සිදු කර ගැනීමට දානාදී ප්‍රත්‍ය පහසුකම් සියල්ල විහාරාධිපති හිමියන් හා අනෙකුත් හාමුදුරුවන්ට සපයා ඇත.

පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මාවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා තුළින් ජීවිතයට කොතරම් සැනසීමක් ලැබුණාද යන්න තේරුම් ගියේ ධර්ම ශ්‍රවණය සඳහා පුණ්‍යෝද්‍යාරාම විහාරස්ථානයට හතරවටින් පැමිණි බෞද්ධ සැදැහැවතුන්ගෙන් පන්සල පිරී ඉතිරීගොස් ඉඩකඩ මදි වීමෙනි. උන්වහන්සේ දේශනා කළ ධර්මයට ගෞරවයක් වශයෙන් දානපතියන් දෙදෙනෙකුගේ පූර්ණ මැදිහත් වීම හා පරිත්‍යාග තුළින් හා ධර්මය ශ්‍රවණය කළ තවත් සැදැහැවතුන්ගේ පරිත්‍යාග තුළින් සියලුම දෙයින් අංගසම්පූර්ණ දෙමහල් ධර්ම ශාලාවක් ඉදිකිරීම, නව සංඝාවාසයක් ඉදිකිරීම, විහාර මන්දිරය අලුත්වැඩියා කිරීම, ජල පහසුකම්, වාහන නැවැත්වීමේ පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් හා ස්වාභාවික උද්‍යනයකින් සමන්විත ඉතා අලංකාර විහාරස්ථානයක් අද වන විට නිර්මාණය කර තිබේ.මෙසේ වර්ථමානය වන විට අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පුණ්‍යෝද්‍යාරාම විහාරස්ථානය පත් වී ඇත.

සෑම මාසයකම පුර පසළොස්වක පොහෝ දින ගම්වාසීන්ට හා අසල්වාසී ගම්වාසීන්ට හා සම්බන්ධ වීමට කැමති සැදැහැවතුන්ට සීල සමාදානය සමඟ ධර්මදේශනා වැඩ සටහන් පවත්වනු ලබයි. ඒ අතරම සෑම මාසයකම අවසන් සෙනසුරාදා දිනයේ දවස පුරාම ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ධර්ම දේශනා මාලාවක් පවත්වනු ලබන්නේ සියලුම දෙනාගේ ජීවිත දුකින් ගලවා අවේදිත සුඛයක් ලබාදීම උන්වහන්සේගේ එකම අභිලාෂය වන බැවිනි.

අද වන විට මෙම විහාරස්ථානය දෙස් විදෙස් ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවගේ ධර්ම කේන්ද්‍රස්ථානයක් බවටත් පරියාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසනය බබලවන ඉතාම වටිනා විහාරස්ථානයක් බවටත් පත් වී ඇත.

තෙරුවන් සරණයි.



Dhammawansha-scrollToTop